Views  
නිකුම් ලකලැහැස්ති වූයේ ගම්බිම් බලා යාමටය.

නිකුම් ලකලැහැස්ති වූයේ ගම්බිම් බලා යාමටය. කලබලයෙන් හැසිරුණු ඔහුව දුටු ඔහුගේ මිත‍්‍රයකු වන දර්ශන ඒ සමීපයට ගියේ ඒ පිළිබඳ සොයා බැලීමටය.

මොකද බං ගාල කඩාගත්ත හරකා වගේ? දර්ශන ඇසුවේ නිකුම් කලබලයෙන් ඒ මේ අත සැරිසැරූ නිසාය.

ගෙදර යන්න බඩු ටික ලෑස්ති කරගත්තා බං. තව ටිකකින් ගෙදර යන්න. ඉක්මනට ගියොත් හතරෙ කෝච්චිය අල්ලගන්න පුළුවන් වෙයි.

මොකද හදිසියෙම ගෙදර දුවන්නෙ?

මාමලාගෙ ගෙදර දානයක්. මටත් එන්නම කිව්වා. ඒ දේවල්වලට නොගිහින් බෑනෙ. දර්ශන ඇසූ දේට නිකුම්ගේ පිළිතුර එය විය.

හ්ම්.... කව්ද උඹේ නෑනා පොඞ්ඩද එන්න කිව්වෙ.

ඔව්... මඟින් මගටම කිව්වා. නොගිහින් බෑනෙ, මගෙ නෑනා කතා කළාම. නිකුම් එලෙස පැවසුවේ සරදමට මෙනි.


උඹට අපි කතා කළොත් තමයි එන්න බැරි. නෑනා කීවොත් අපායට වුණත් යයි. හරි හරි ඔහොම පලයංකො.... ගිහින් කොහෙ නතරවෙයිද කියන එක තමයි බය.

නිකුම් කාර්යාලයේ වැඩ නිම වී කොටුව දුම්රිය අංගණයට පැමිණියේ අඩියට දෙකටය. යකඩ යකාගේ හූ හඬක් නැගිණි. නිකුම් ඒ දෙසට අවධානය යොමු කළේය.

මාතර බලා ධාවනය වන දුම්රිය දැන් පළමු වේදිකාවට ළඟාවනවා ඇත.

එදා සිකුරාදා දිනයකි. ගම්බිම් බලා යාම සඳහා බොහෝ පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ රැුඳී සිටියහ. බඩු මලූ අතින් ගත් බොහෝ දෙනා දුම්රිය එනතුරු බලාසිටියේ නොඉවසිල්ලෙනි. නලා හඬ දසත පැතිරෙන්නට විය. දුම්රියට නැඟීමට දඟලන පිරිසකි. ඒ දැඟලූම් නිසා දුම්රිය තුළට යාමට නොහැකිව මගීහු ඒ මේ අත තෙරපෙති. නිකුම් සෙනඟ අතරින් දුම්රියට ගොඩවුණේ ඉතා අපහසුවෙනි.

ටික වේලාවකට පසු දුම්රිය පිටත් විය. නිකුම් සෙනඟ අතරින් කණුවක් අල්ලාගෙන වටපිටාව නිරීක්ෂණය කරන්නට වූවේය. සියලූ දෙනා ගල්රූප මෙන්ය. සමහරු තෙරපෙති. තවත් සමහරෙක් ජංගම දුරකථනය අතට ගෙන විවිධාකාර සෙල්ලම් දමති. විටෙක ජංගම දුරකථනය දෙස බලා සිනාසෙයි, විටෙක ඔළුව වනයි. තවත් විටෙක මුමුණති. ඔවුන්ගේ ජීවිත වෙනම ලොවක තනිවී ඇති අයුරක් පෙනේ. ඔවුන්සේම දුම්රියේ කණු අසල, මුළු අසල පෙම්බස් දොඩන පිරිසකි. ඔවුන් රැුගත් දුම්රිය පැද්දුනේ ලතාවකට මෙන්ය. නිකුම්ද ඒ මොහොතේ කල්පනා සයුරේ ගිලෙන්නට විය.


නිකුම් සහ ඔහුගේ නෑනා වන මනීෂා අතර පෙම් සබඳතාවක් ගොඩ නැඟුණේ ඔවුන් කුඩා කල සිටය. ඇය හා ඔහු සෙල්ලම් කළ ආකාරය ඔහුට සිහිවූයේ දුම්රියේ පාසල් ඇඳුමින් සැරසී සිටි පෙම් යුවළක් ඉදිරිපිට අසුනේ වාඩි වී පෙම්බස් දොඩමින් යන ආකාරය දක්නට ලැබීමෙනි. ඔහු අතීතයට ගමන් කළේ එවිටය. කොණ්ඩ කරල් දෙකක් බැඳ මනීෂා පාසල් ගිය අවධිය ඔහුට සිහිවිය. ඇගේ කටහඬ, කතා විලාසය මිනි කිංකිණි සෙලෙව්වාක් මෙනි.

8, 9, 10

ඔන්න මම එනවා.....

අනේ අයියෙ හොර කරන්න බෑ....

නෑ... නෑ... කව්ද හොර කරන්නේ?

ඔයා හොරෙන් බැලූවා.... මම දැක්කා. බොරුකාරයා... මම තරහයි.

හරි.... එහෙනම් මම ආයෙත් ගණං කරන්නම්කො.....

එලෙසට රණ්ඩු ඇතිවන්නේ කුඩා කල ඔවුන් දෙදෙනා හැංගි මුත්තං කරන අතරතුරය. එලෙසට ඔහුගේ කුඩාකාලය මතක් වූ විට මුවට සිනහ නැඟුණේ ඉබේටමය.

නිකුම් සහ මනීෂා ඉගෙන ගත්තේ එකම පාසලේය. මනීෂා ඔහුට වඩා අවුරුදු 4කින් පමණ බාලය. ඇය වඩාත් හැඩ වැටුණේ හිරිමල් යෞවන අවධියට පැමිණීමෙන් පසුය. මුහුණේද, ගතේද අමුතු කාන්තියක් දිස්වන්නට වූයේද ඒ කාලයේදීය. පාසලේ සිටි අන් ගැහැණු ළමයින්ට වඩා මනීෂාගේ රුව කා අතරත් ප‍්‍රචලිත වූයේ ඒ නිසාය. වැඩිපුරම ප‍්‍රචලිත වූයේ පිරිමි ළමුන් අතරය. ඇගේ ආදරය පතා පිරිමි ළමුන් ඇදී ආවේද රුවට වශී වීමෙනි.

මේවා දුටු විට නිකුම්ගේ සිතට ඇතිවන්නේ දැඩි කේන්තියකි. දිනක් ඇය පසුපස ආ පිරිමි ළමයෙකු සමඟ ගුටිබැට හුවමාරුවක්ද ඇතිවූයේ ඔහුගේ තරහව පාලනය කරගැනීමට නොහැකි වීමෙනි. මනීෂාගේ එකම ආරක්ෂකයා තමා බව නිකුම් සිතුවේය. වේලාවකට මනීෂාට නිකුම් කරදරයකි. එහෙත් ඇය ඒ බව ඔහුට නොකියන්නේ සිත නරක් කිරීමට නොහැකි නිසාය.

ඔයා මට ආදරෙයිද? දිනක් පාසල් යන අතරතුර නිකුම් මනීෂාට පැවසුවේ ඇය පිළිබඳ ඔහු තුළ හටගත් ආදරය තව දුරටත් සිරකර ගත නොහැකිවය. එවිට ඇය ඔහුගේ මුහුණ දෙස බලා නිහඬ වූයේ කිසිවක් අදහා ගත නොහැකි අයුරිනි.

ඇයි කතා නොකරන්නෙ? මම අහපු දේට කෙළින් උත්තරයක් දෙන්න බැරිද?

එයට මනීෂාගෙන් පිළිතුරක් නොවූයෙන් පෙරට වඩා උස් හඬකින් ඔහු ඇයව අමතන්නට විය.

ඇය ලැජ්ජාවෙන් බිම බලා ගනු දුටු නිකුම්ගේ සිතට දැනුණේ යම් බලාපොරොත්තුවකි. ඔහුගේ සිතේ අලූතින් උපන් ප‍්‍රබෝධයත් සමඟ ඔහු ඇය දෙස බලා සිටින්නට විය. ඇය එවිට ඔහු ඉදිරියේ නිරුත්තර වූවාය. මම හැමදාම නිකුම් අයියට ආදරය කළා වගේම හැමදාම ආදරේ කරමින් ඉන්නවා. ඒක මම කොහොම කියන්නද? මනීෂා ඇයටම සිත යටින් මුමුනා ගත්තාය. ඔවුන් දෙදෙනාම නිහඬ බව බිඳ දැමුවේ මඳ වේලාවකිනි. සියලූ බාධක බිඳ තම නෑනාගේ ආදරය අවසානයේ ලැබුවා නොවේදැයි නිකුම්ට සිතුණේ ඇය දෙස බලා සිටින විටය. ඇගේ සුන්දර දසුනින් දෑස් ඉවතට ගැනීමට ලෝභකමක්ද දැනිණි.

ඔයා ගොඩක් සතුටින් නේද ඉන්නෙ. නිකුම් පැවසුවේ මනීෂාව ඔහුගේ ගතට තුරුලූ කර ගනිමිනි.

ඔව්... ගොඩාක් සතුටින්. ඇය ඔහුට තුරුලූ වීගෙනම පැවසුවේ ඇසෙන නෑසෙන හඬින් යුතුවය. කිසිදු දිනෙක දැක නොතිබූ සතුටක් මනීෂාගේ දෙනෙත්වල රැුඳී තිබෙනු දුටු නිකුම්ට ඇතිවූයේ කියා නිම කළ නොහැකි තරමේ සතුටකි.

උසස් පෙළින් ඉහළින්ම සමත් වූ නිකුම් සරසවි වරම් හිමි කරගත්තේ ආශ්චර්යක් මෙනි. ඔහු එතරම් ඒ සඳහා කැපවී වැඩ කළේද නැත. සරසවියට ඇතුළුවීමට ඔහුට හැකියාව ලැබුණේ පාඩම් නොකළත් උගන්වන දේ හොඳින් ධාරණය කරගත් බැවිනි. සරසවි අධ්‍යාපනය ආරම්භ කළ පසුව නිකුම් නවාතැන් ගත්තේ තම ඥාති වූ නැන්දා කෙනෙකුගේ නිවසේය.

දන්නවද? මම අද කැම්පස් ගියා... හිතට දැනුණෙ ලොකු සතුටක්. ඒත් මට ඔයාව ගොඩක් මතක් වුණා. ඔයත් දැන්ම ඉඳලා හොඳට පාඩම් කරලා කැම්පස් එන්න  ඕන.. නිකුම් දුරකථනයෙන් මනීෂාට එලෙස පවසන විට ඇය ඒ වෙනුවෙන් උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කටයුතු කරන බව සිතින් සිතන්නට වූවාය.

කාලය එලෙසට ගතවීමත් සමඟ මනීෂාගේත් නිකුම්ගේත් සම්බන්ධය නිවෙස්වලට හසුවන්නට වූයේ සිතා ගන්නටවත් නොහැකි අයුරිනි. අයියගෙ පුතා එක්ක තමුන්ගෙ තියෙන සම්බන්ධෙ මොකද්ද? මේවා මිනිස්සු දැනගත්තොත් අපිට පාරෙ බැහැලා යන්න බැරිවෙනවා. එලෙසට සිතෙහි නැඟ එන කෝපය පාලනය කරගත නොහැකිව මනීෂාගේ පියා බැණ වදින විට ඇගේ දෑස්වල කඳුළු බිඳු එකිනෙක කඩා වැටෙන්නට වූයේ නිරායාසයෙනි. තම සැමියා නළල රැුලිගන්වමින් සිතන්නට වූයේ තම දියණිය පිළිබඳ බව මනීෂාගේ මවට තේරිණි. ඇය එතැනින් ඉවත්ව ගියේ ඔහුට තරහ ආ විට එය පාලනය කරගන්නට මහත් වෙහෙසක් දැරීමට සිදුවන නිසාය.

මනීෂා උසස් පෙළ විභාගයෙන් සමත් වූවද සරසවියට ඇතුළු වීමට ඉඩක් නොලැබිණි. එහෙත් ඇය බාහිර උපාධියක් සහ ඩිප්ලෝමා කිහිපයක්ද හදාරන්නට වූවාය. මනීෂා විවාහ කර දිය යුතු යයි ඇයගේ මව්පියන් සිතන්නේ මේ කාලසීමාවේදීය. ඒ සියල්ල ආරංචි වූ විට නිකුම්ට ඇතිවන්නේ මුළු ලොවම අහිමිව යන අයුරකි. ඔහුගේ සිත දළ රළ පෙළක් මෙන් කැලඹෙන්නට පටන් ගත්තේ සිදුවන්නට යන කිසිවක් සිතාගන්නවත් නොහැකි නිසාය. ලොකු මාමා තමාට මෙවන් දෙයක් කරතියි නිකුම් කිසි දිනෙක බලාපොරොත්තු වූයේද නැත. තමාට අයිති දෙයක් අහිමිව යන විට ඇතිවන දුක වචනවලට පෙරළන්නට නොහැක. ඒ සියලූ බලාපොරොත්තු සුන් වී ගිය බවක් දැනුණේ හිතේ හටගත් වේදනාව දෙගුණ තෙගුණ කරමිනි.

තමා බලන්නට මනාලයකු ආ බවත්, ගෙදරින් කළ බලකිරීම් මත වෙනත් අයෙකුට කැමති වූ බවත් මනීෂා දුරකථන ඇමතුමකින් නිකුම්ට පැවසූ විට ඔහුට කරන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. ඔහු එදින වැඩ නිමකර නිවසට ගියේ හොඳ හැටි බීගෙනය.

ප‍්‍රශ්නවලට බිව්වා කියලා උඹට වීරයෙක් වෙන්න පුළුවන්ද? කොන්ද පණ ඇතිව වැඩ කරපන්. නැන්දාගේ එම ප‍්‍රකාශයට නිකුම්ගෙන් පිළිතුරක් නොවුණි.

ටික දිනකට පසු මනීෂාගේ විවාහ උත්සවය නගරයේ ප‍්‍රසිද්ධ හෝටලයක ජයටම පැවැත්විණි. ඇයගේ අතිනත ගත්තේ දුෂාන්ය. ඔහු වෘත්තියෙන් රජයේ ආයතනයක ඉහළ නිලයක් දරන නිලධාරියෙකි. ඔහුලත් සුදුසුකම් වලට එහා ගිය නිලයක් ඔහුට හිමිවූයේ කෙනෙකු ආකර්ශණය කරගැනීමේ පෙනුමද ඔහු සතුවූ බැවිනි.

නිකුම්ට විවාහ උත්සවය සඳහා ආරාධනා කර තිබුණත් ඒ සඳහා සහභාගී නොවූයේ හිතේ තෙරපුණු වේදනාව නිසාය. හදවතින් පටන්ගත් රිදුමක් අකුණක් වැදුණාක් මෙන් ක්ෂණයකින් සිරුර පුරා දිවයන්නාක් මෙන් දැනෙන්නට වූයේ මනීෂාගේ විවාහය සිහියට නැෙඟද්දීය.

මංගල ඇදුමින් සැරසුණු මනීෂා සහ දුෂාන් නිකුම්ගේ දෙනෙත ඉදිරියේ මැවෙන්නට වූයේ නිරායාසයෙනි. ජීවිතය කොයිතරම් පුදුමාකාරද? යැයි ඔහුට සිතුණේ එවියට. ඔහු කුළුදුල් ආදරයේ පරාජය අත්වින්දේ සිහිනෙකින්වත් නොසිතූ විලසිනි. කාලය එලෙසින් ගතවීමත් සමඟම මනීෂා නැවතත් නිකුම් හා කතා බස් කරන්නට වූයේ පෙර පරිදිය. හැකි සෑම විට දෙදෙනා හමුවී කතා බස් කළේ කිසිදු බියකින් තොරවය.

දුම්රිය මාතරට ළඟා වන විට සවස 7.30 පමණ විය. සිහින ලෝකයේ පතුලටම කිඳා බැස සිටි නිකුම් දුම්රියෙන් බැස මනීෂාගේ නිවසට යන විට 8ත් පසු වී තිබිණි. නිකුම් දුටු මනීෂා ඇයගේ වැඩ සියල්ල පසෙක දමා දිව ආවේ මුව පුරා සිනහවක්ද නංවාගනිමිනි. නිකුම් මනීෂා දෙස බැලූවේ හොරැුහිනි. මනීෂා මට අයිති නෑ. ඔහු සිතින් කීවේය. ඇය තමන්ට බෙහෙවින්ම ඇලූම් කරන බව නිකුම් හොඳාකාරවම දනී. ඇය විවාහ වූයේ ගෙදරින් කළ පෙරැුත්ත මතය. ඇගේ ගෙදරින් තමන්ට අකමැති වූයේ ළඟම ඥාතී වූ නිසාය.

මනීෂා විවාහයෙන් පසුව දුෂාන් සමඟ ජීවත් වූයේ ඉතා අකමැත්තෙනි. එසේ වූයේ ඔහුගේ සමහර චර්යා රටාවන් හේතුවෙනි. ඇයට ඔහුගේ නොයෙකුත් අඩුපාඩු දක්නට ලැබුණේ එකට ජීවත් වන විටය. එහෙත් මනීෂා නීතියෙන් අයිතිවන්නේ ඔහුටය.

ඇයට සිදුවූ විපත පිළිබඳ සිතින් වැලපුණේ ලොවට හොරෙනි. දුෂාන් සමඟ තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට නොහැකි වූයේ ඔහු පිරිමි ඇසුර පි‍්‍රයකරන්නෙකු වූ බැවිනි. කාලය ගතවන්නට විය. සමාජ සබඳතා සුනු විසුනු කොට නිකුම් සමඟ මනීෂා පෙර පරිදි සම්බන්ධතා පවත්වන්නට විය. දෙදෙනාට දෙදෙනා නැතිව බැරි තරමට ඔවුහු ළංව සිටියහ.

දුෂාන් නිවසේ නැති විටත් නිකුම් නිතරම මනීෂාගේ නිවසට යාමට, ඒමට පුරුදුව තිබිණි. දිනක් ඔවුන්ගේ මේ අනියම් පෙම දුෂාන්ගේ අතටම හසුවූයේ සිතාගත නොහැකි අන්දමිනි. ඇස් පනාපිටම දුෂාන්ගේ දෑසටම දිස්වන විට ඔහු විස්මයට පත්වූයේ දුටු දෙය පිළිබඳවත් කාන්තාවන් පිළිබඳ හටගත් තද කලකිරීමත්ද සමඟිනි. තම සැමියාගේ හදිසි පැමිණීම දුටු මනීෂාද තිගැස්සෙන්නට වූයේ සිදු වූ දේ පිළිබඳ කර කියා ගත දෙයක් නොමැති ලෙසිනි. දුෂාන් මනීෂා වෙත පෑවේ දවා අළු කරවන බැල්මකි. දැඩි කලකිරීමකින් ඔවුන් දෙස බලා ඔහු පිටව ගියේ කිසිවක් නොපවසාය. ඉන් ඔහු විමතියට පත් වූයේද මුළු ලෝකයම ඔහුගේ ඇස් පනාපිට කඩා වැටුණාක් මෙනි.

එසේ කල්ගත වන විට දුෂාන්ගේ ජීවිතය දැඩිව කම්පා කරවන සිදුවීමක් වූයේ නොසිතූ විලසිනි. මනීෂාගේ වෙනස්වීම ඔහුට කම්පාවට හේතුවක් නොවූවද ඔහු පණ සේ ආදරය කළ කාර්යාලයීය පෙම්වතා හදිසියේ විවාහ වීම නම් දරාගත නොහැක්කක්ම විය. එහි ප‍්‍රතිඵලය වූයේ කිසිවෙකුත් නොමැති පාළු රබර් යායක වස කුප්පියක පිහිට ලබමින් අවසන් සුසුම් හෙළීමය.

ඔහුගේ මරණයෙන් පසු මනීෂා තනි වූවාය. ඇයට ජීවත්වීමට රජයෙන් ලැබෙන මාසික වැටුප ප‍්‍රමාණවත් විය. දරුවන් නොමැති විවාහයේ මිහිරක් නොවිඳි වැන්දඹුවක වූ මනීෂා දුෂාන්ගේ මාසික වැටුප ලබා ගනිමින්ම ඇගේ මස්සිනාත් සමඟ රහසිගත පවුල් ජීවිතයක් ගෙන ගියාය. අද තරුණ මනීෂා වැන්දඹුවකි. සමාජය ඉදිරියේ නම් සාරධර්ම බිඳ හෙලූ පව්කාර ගැහැණියකි. නීතිය ඉදිරියේ නම් ස්වාමියාගේ වැටුප ගෙන රහසිගත පවුල් ජීවිතයක් ගෙවන වැරදිකාරියකි. මේ සියලූ දේ දෙස හෘදයාංගමව බලා සිටිනා මනීෂාගේ මව්පියන් අද විඳවන්නේ ඇයගේ තරුණ ජීවිතය විනාශ වීමට ඔවුන්ද වක‍්‍රාකාර දායකත්වයක් දැරූ බව සිතමිනි. සැබවින්ම වරද කාගේද? වැරදුණේ කොතැනකද සිතීමත් තීන්දුවත් ඔබට භාරය.

o