Views  
සම්පත්,

සම්පත්, සොනාලි,බ‍්‍රයන් වගේම ලෝකයේ තවත් බොහෝ ගැහැනු පිරිමින් ආදරය වෙනුවෙන් බොහෝ දේ කළාය. ඒ වෙනුවෙන් ජීවිතය මායාවක් කරගන්නට තරම් ඔවුන් එක්විටෙක පෙලඹුණේය. මේ කියවෙන්නේ ඔවුන්ගේ කතාවයි.

එදා ඉරිදා දිනයකි. ඒ නිසා සම්පත්ට එදින විවේකයක් ලැබී තිබිණි. ඔහු පුවත්පත අතට ගෙන සාලයේ පුටුවක වාඩිවුණේ නිදහසේ එය කියවීම සඳහාය.
ඒ මොහොතේ සම්පත්ගේ මව වන ඉන්ද්‍රානි නිවස ඉදිරිපිට ඇති කිරි ඉද්ද ගසෙන් මල් කඩමින් සිටියාය. සවස් කාලයේදී බුදුන් වැඳීම සඳහා මල් කැඞීම ඇගේ පුරුද්දකි. සම්පත් මොහොතක් ඒ දෙස බලා සිට නැවතත් සුපුරුදු කාර්යයේ යෙදෙන්නට විය.

මල් කඩා බුදුන් වැඳ අවසන් කළ මව සාලය වෙතට පැමිණියේ සම්පත් පුවත්පත කියවමින් සිටි අතරතුරය.

පුතේ

ඇයි අමමේ?

සම්පත් තම මව දෙස තරමක් නළල රැලිගන්වමින් කතා කරන්නට විය.

තවමත් අර ගෑනු ළමයට කැමති නැද්ද?

මොන ගෑනු ළමයටද අම්මේ...

මව මේ පවසන්නේ කුමක්දැයි ඔහු හොඳින්ම දැන සිටියේය. එහෙත් ඔහු ඒ බවක් හැඟවූයේ නැත.

ඔහු සුපුරුදු පරිදි පත්තරය බලමින් සිටියේය.

අර ලොකු තාත්තා කතා කරපු ගෑනු ළමයා... උඹ කැමති නැද්ද? ඒ ළමයා හොඳට ඉගෙනගෙන උපාධියකුත් තියෙනවා.

මට දැන්ම බඳින්න බෑ අම්මේ. එහෙම කියලා බෑනෙ පුතේ දැන් තාත්තත් නැතිවෙලා අවුරුදු 5ක් වෙනවා.

මල්ලිත් දැන් බැඳලා... මගෙ ඇස්දෙක පියවෙන්න කලින් උඹ මේ ගෙදරට ලේලියෙක් ගේන්න  ඕන.

මොනවද අම්මෙ මේ කියන අවකැපෙන කතා. අම්මා මගේ ආයුෂත් අරන් ජීවත්වෙන්න  ඕනේ. හරි හරි ඉස්සරහට බලමුකො.

සම්පත් එසේ කියමින් පුවත්පත හකුළුවා දමා එතැනින් නැඟී සිටියේය.

කෙල්ලන්ට කැමැත්ත දීලා බෑනෙ. මම හරියට දන්නෙත් නෑ. අනිත් එක කව්ද දන්නෙ අඳුනන්නෙ නැති ගෑනු ළමයි එක්ක ඉන්න පුළුවන් වෙයිද කියලා.. මොන උපාධි තිබුණත් වැඩක් නෑ හරියට තේරුම්ගන්න බැරි කෙනෙක් වුණොත්..

සම්පත් තම මවට ඒ මොහොතේ එලෙසින් කියවාගෙන ගියේ නෝක්කාඩුවට මෙනි.

එයට කිසිවක් නොකිව් මව සම්පත් විසින් බොන ලද තේ කෝප්පය ගෙන මුළුතැන්ගෙය වෙතට පිය නැඟුවේ සිතට නැඟුණු වේදනාවත් තුරුලූ කරගනිමින්ය.

සම්පත් නැත පුටුවේ වාඩිවී දෑස් පියාගත්තේය. තමාගේත් සොනාලිගේත් ආදරයට වසර 4ක් පිරී ඇති බව ඔහුට සිහිපත් වුණේ ඒ මොහොතේදීය.

තම මව සොනාලිට අකමැතිවීම මේ හැමදේටම මුලයැයි ඔහුට සිතිණි. මව ඇයට අකමැති වූයේ ඈ තුළ පවත්නා දඟකාරකමටත් කටකාරකමටත් යැයි සම්පත්ට සිතේ. මවගේ විරෝධතා නිසා සම්පත් වරින්වර සොනාලි අතහැර දැමීමට උත්සාහයක නිරත වුවද එය සාර්ථක වූයේ නැත. ඒ වන විට ඇය කාන්දමක් මෙන් සම්පත් පසුපස ඇඳී එන්නට විය.

ඔහුගේ සිතින්ද ඊට ඉඩක් නොලැබිණි. ඔහුටද ඇයව අතහැර සිටිය හැක්කේ මද වේලාවකට පමණි. ඇගේ කාන්තිමත් දෙනෙතත් දිගටි මුහුණත්, ඇගේ ලාලිත්‍යත් ඔහුගේ සිත වශීකරවන සුලූ විය.

ඇයගේ කතාබහ, හැසිරීම සිතුවම් පෙළක් මෙන් ඔහුට මැවෙන්නට වුණේ ඒ මොහොතේය.

අවසානයේ ඔහු පවුලේ සියලූම දෙනාගේ විරුද්ධත්වය මැද සොනාලි විවාහ කර ගැනීමට තීරණය කළේ ඇය කෙරෙහි වූ දැඩි ආදරය නිසාය.

සොනාලි සම්පත්ට විවාහ කර දීමට ඇයගේ මව්පියන් අකමැත්තක් දැක්වූවේ නැත. ඒ සම්පත් වැදගත් පවුලක, හොඳ රැුකියාවක් කරන සියල්ලකින්ම අගතැන්පත් පුද්ගලයකු වූ නිසාය. ඔහුට අකමැති වන්නට කිසිදු හේතුවක් නොවීය.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. තම කාර්යාලයට ගොස් නිවසට පැමිණි සම්පත් බෑගය පසෙකට දමා සාලයේ එහා මෙහා ඇවිදින්නට වූවේය. ඔහුගේ සිත නොසන්සසුන්ය. වෙනදාට වඩා වැඩි වෙහෙසක් ඔහුගේ ගතට තදින්ම දැනුණි.

තමා කැමති සොනාලිට බව මවට කිව යුතුය. තමාගේ මව මේ තීරණයට හොඳාකාරවම විරුද්ධ වන බවද ඔහු දනී. එහෙත් මවට මෙය වසන් කළ නොහැකිය.

සොනාලි හැර වෙනත් කෙනෙකුට ආදරය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.

එසේ කල්පනා කරමින් සිටින අතරතුර මිදුලේ අඹ ගසෙහි ශබ්දයක් නැගිණි. සම්පත් ඒ දෙස බැලීය. ඉදුණු අඹ කෑමට වව්ලන් පැමිණ ඇත.

පුතේ මොකද මේ එළියට වෙලා? සම්පත්ගේ සමීපයට විත් මව විමසා සිටියේ එවිටය.

රස්නෙ වැඩියි අම්මේ.. ඒකයි මම මේ එළියට වෙලා හිටියෙ.

මව ගේ ඉදිරිපිට උළුවස්ස ළඟ රැුඳී සිටි අතරතුර සම්පත් තම මව වෙත නෙත් යොමු කළේය. ඇය සිටියේ පාර දෙස බලමිනි.

අම්මේ!

හ්ම්... ඇයි

මට අර ගෑනු ළමයා බඳින්න බෑ, මම කැමති නෑ....

ඒ මොකද?

මම කැමති සොනාලිට.. මට වෙන කෙනෙක් බඳින්න බෑ

සම්පත්ගේ එම ප‍්‍රකාශයෙන් මවගේ මුහුණ අඳුරු වන්නට විය.

උඹට කොච්චර කිව්වත් වැඩක් නෑ.  ඕන දෙයක් කරගනින්. කිව්වා නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි.

සම්පත් හිස පහතට හරවා ගත්තේය.

මව කැමති කරගැනීමට සම්පත් දැරූ සියලූ ප‍්‍රයත්න නිෂ්ඵල විය.

අවසානයේ සියලූ දෙනාගේම විරුද්ධත්වය මැද ඔහුගේ විවාහ උත්සවය සිදුවිය. උත්සවය ප‍්‍රදේශයේ හෝටලයක ජයටම පැවතිණි.

සම්පත්ගේ මව ඇතුළු නෑදෑ පිරිස ඒ සඳහා පැමිණියේ නැත. ඔවුන්ගේ විවාහ උත්සවයෙන් පසු සම්පත් නවාතැන් ගත්තේ සොනාලිගේ නිවසේය.

පුත‍්‍රයා සමඟ අමනාප වී කල්ගෙවීම මෑණි කෙනෙකුට අපහසු කටයුත්තකි. අවසානයේ මව සම්පත්ට තම නිවසට පැමිණෙන්නැයි දන්වා සිටියේ සති තුනක පමණ කාලයක් ගතවූ පසුවය. සම්පත් ඒ පිළිබඳව කල්පනා කරන්නට වුණේ අහස පොළොව ගැටලන්නට මෙනි.

අම්මා කතා කරලා ගෙදර එන්න කියනවා... අම්මට මාව දකින්නෙ නැතිව ඉන්න අමාරු ඇති. අපි එහෙ යමු. සම්පත් සොනාලිට පවසා සිටියේ තම නිවස කරා නැවතත් යාමේ අටියෙනි.

මට නම් බෑ පද අහගන්න. රණ්ඩු කළ වෙලාවක කියයි මම ඔයාව දැලේ දාගත්තා කියලා... පසුගිය කාලෙත් හොඳටම බැන්නා... දැන් ආයෙත් එන්න කියනවා.

හරි හරි කේන්ති ගන්න එපා.. වයසක අයනෙ. ඒවා ගැන හිතන්න එපා.


සම්පත් සොනාලිට එසේ පවසා සිටියේ ඇයව අස්වසන්නට මෙනි.

සම්පත්ගේ බලවත් ඉල්ලීම මත සොනාලි එහි යාමට එකඟ වූයේ දැඩි අකමැත්තකිනි.

කාලය කෙමෙන් ගතව ගොස් සොනාලිත් සම්පතුත් විවාහ වී වසර 4ක් ඉක්ම ගොස් තිබිණි. ඒ වන විටත් ඔවුන්ගේ කැදැල්ලට අලූත් අමුත්තෙක් එකතු වී තිබුණේ ඔවුන්ගේ සතුට තව තවත් වැඩි කරමිනි.

ඉන් වඩාත්ම සතුටු වූයේ සම්පත්ගේ මවයි. නමුත් සොනාලි සම්පත්ගේ මව සමඟ කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූවේ නැත. මවට සැලකුවේද නැත.

සොනාලිගේ මේ හැසිරීම විඳ දරාගන්නට තරම් ශක්තියක් සම්පත්ගේ මවට නොතිබිණි. නමුත් ඒ හැමදේම ඉවසාගෙන සිටියේ පුංචි දරු පැටියා නිසාය.

එලෙසට කල්ගතවෙද්දි සම්පත් සහ සොනාලි ඔවුන්ගේ අලූතින් තැනුණු කැදැල්ල වෙත ගියේ සිය මවගේ වේදනාව දෙගුණ තෙගුණ කරමිනි. ඔවුන්ගේ ඒ දුරස්වීමෙන් ඇයට ඇතිවූයේ කියාගන්නට බැරි තරම් සිත් වේදනාවකි.

ඊට දින කිහිපයකට පසුව ඔවුන්ගේ දරුවාට හදිසියේම උණ රෝගය වැලඳෙන්නට විය. දැඩිලෙස රෝගාතුර වූ දරුවා කල්තියාම රෝහල වෙත රැුගෙන ගිය හෙයින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

දරුවාගේ අසනීපයෙන් දැඩිලෙස කලබල වූයේ සම්පත්ගේ මවයි. ඇය රෝහල වෙත පැමිණ හැකි සැමදෙයක්ම ඉටු කළාය.

දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරිණි. ඉන් දින දෙක තුනකට පසු දරුවා නිවසට රැුගෙන ගියේ සුවය ලැබීමෙන් පසුවය.

අනතුරුව මසක පමණ කාලයක් සම්පත්ගේ මව දරුවා වෙනුවෙන් කාලය කැප කරන්නට වූවාය. පසුව ඇය මහගෙදර වෙත ගියේ දරුවාගේ සම්පූර්ණ සුවයත් සමඟිනි.

ඊට ටික දිනකට පසුව ඇයද අසනීප වන්නට විය. දරුවාට වැලඳී තිබූ උණ රෝගය ඇයට වැලඳී තිබිණි. මුලදී ඇය එතරම් ගණන් නොගත්තද තත්ත්වය අයහපත් අතට හැරුණේ ඇයටත් නොදැනීමය.

සම්පත්ගේ සහෝදරයා වන නිරෝෂ්ද ඒ දිනවල මහගෙදරට පැමිණ සිටියේය. සිය මව අසනීපයෙන් පීඩා විඳිනවා දුටු ඔහු ඇයව වහාම රෝහල වෙත රැුගෙන ගියේය. අම්මා අසනීප වී ඇති බව ආරංචි වුණද සම්පත් සහ සොනාලි රෝහල වෙත පැමිණියේ නැත.

සම්පත්ගේ නොපැමිණීමේන් නිරෝෂ්ට ඇතිවූයේ දැඩි කෝපයකි.

අම්මට අසනීප වුණාම බලන්න එන්න බැරි එකෙක්.. මේ වගේ අසමජ්ජාතියෙක්ද අපේ අම්මා දුක් විඳලා හැදුවේ.. ඔහු මිමිනුවේය.

මවගේ තත්ත්වය නරක අතට හැරිණි. වියදම් දරා ප‍්‍රතිකාර කළත් එයින් පලක් නොවීය.

සම්පත්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි මව රෝහල් ඇඳ මතදීම සිය අවසන් සුසුම් හෙළුවාය.

අවමංගල උත්සවයේ සියලූ වැඩකටයුතු නිරෝෂ් අතින් සිදුවිය. තම සහෝදරයා මළගෙදර හෝ පැමිණේ යැයි විශ්වාසයක් ඔහු තුළ තිබිණි. එහෙත් සම්පත් සහ සොනාලි එහි පැමිණියේද නැත.

සම්පත්  අසනීප වී ඇති බවත් මළගෙදර පැමිණිය නොහැකි බවත් දන්වා තිබිණි.

තම මවගේ මරණයෙන් අනතුරුව ඔහු සිය මව වෙනුවෙන් පන්සල්වල වැඩකටයුතුවලට සහ නොයෙකුත් දානමාන සඳහා දායක විය.

තම මව ජීවතුන් අතර සිටියදී නොකෙරූ දේවල් කොපමණ කළත් දැන් පලක් නොවේ. මාස 10ක් කුසේ තබාගෙන දුක් විඳිමින් තමා ඇති දැඩි කළ මවගේ අවමංගල උත්සවයට සහභාගි නොවූ ඔහු කොතරම් දුෂ්ට අකෘතඥයෙක්ද?

අසාධ්‍ය අසනීපයක් ඇති වුවත් තම මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තම ජීවිතය දෙවනුව තබා හෝ පැමිණීම පුතෙකුගේ දියණියකගේ වගකීමකි. එහෙත් ඔහු අඩුම වශයෙන් ආදාහනාගාරයටවත් පැමිණියේ නැත.

ඒ සියල්ලක් එසේ සිදුවෙද්දි මව මිය ගොස් වසර 3කුත් ඉක්ම ගොස් තිබිණි.

ඒ ගතවූ කාලය තුළ සම්පත් වරින්වර අසනීප විය. ඒ එක් දිනකදී රෝගය උත්සන්න විණි. එය කෙතරම් උත්සන්න වී ගියේද කිවහොත් ඔහු එමඟින් ඔත්පල වන්නට විය.

ඔහුව බේරාගැනීමට සොනාලිත් ඇගේ මව්පියනුත් බොහෝ වෙහෙසක් ගත්හ. කෙතරම් වියxහියදම් කළද සම්පත්ට ජීවත්වීමට වරම් නොලැබිණි.

සම්පත් රෝගාතුර වී මෙතරම් ඉක්මනට මියගොස් මවට කළ කී දේ නිසා යයි ගම්පුරා ළැව්ගින්නක් සේ පැතිරෙන්නට වුණේද ඒ කාලයේදීය.

සම්පත්ගේ හදිසි වියෝවෙන් වඩාත් ප‍්‍රශ්න ඇතිවූයේ සොනාලිටය.

ඇයට නැවත විවාහ වන ලෙස මව්පියන් යෝජනා කළේද ඇය තවමත් තරුණ වියේ පසුවන බැවිනි. නමුත් ඇගේ සිතේ ඊට කැමැත්තක් නොවීය. ඇය දරුවාගේ වැඩපල කරමින් සුවිසල් නිවසේ ජීවත් වූවාය. සියලූ සැප සම්පත් ලැබුණද පෙර කළ කී දේ වෙනුවෙන් සිත යටින් දුක් විඳින්නට වූවාය.

ඉඳහිට ඇගේ මිතුරියක් හෝ මිතුරෙක් හෝ ඈ බැලීමට එයි. සිතෙහි සිරවී තිබුණු දුක ටික වේලාවකට හෝ පහව ගියේ ඔවුන්ගේ පැමිණීමත් සමඟිනි.
සම්පත් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ඔහුගේ මාසික වැටුප සොනාලිට සෑම මසකම ලැබිණි. එහෙත් ඇයට මුදල්වලින් කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත. ඇයගේ ගිණුම්වලත් අවශ්‍ය තරම් මුදල් තැන්පත් කර තිබිණි.

කාලයාගේ ඇවෑමෙන් පාසල් කාලයේ සොනාලිට පෙම් කළ පේ‍්‍රමවන්තයකු වූ බ‍්‍රයන් කීපවිටක්ම සොනාලිට වූ විපත දැන ඇය බැලීම සඳහා නිවසට පැමිණියේය. ඔහුගේ එම පැමිණීම ඇයගේ සිතට යම් සහනයක් ගෙන දුන්නේය.

එකල ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රමයට කණ කොකා හැඬලූවේ බ‍්‍රයන් වෙනත් ආගමක පුද්ගලයෙකු නිසාය. සොනාලිගේ නිවසින් ඒ සඳහා කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසා සොනාලිද බ‍්‍රයන්ට හිත යටින් කැමැත්තක් දැක්වුවද එය යටපත් කර ගත්තේය.


බ‍්‍රයන් සොනාලිගේ ආදරය පතා කොතරම් කලක් පසුපස පැමිණියද ඇගේ කැමැත්ත නොලැබෙන බව දුටු නිසාදෝ ඔහු අවසානයේ ඒ ප‍්‍රයත්නය අත්හැර දමා තිබිණි.

පාසල් දිවිය හමාර කිරීමෙන් පසු බ‍්‍රයන් විදේශගත විය. ඔහු විවාහයක් කර නොගත්තේද සොනාලිට තිබූ ආදරය නිසාය. සොනාලි ගැන ඔහුගේ යටිහිත තුළ පැලපදියම් වී තිබුණු කැමැත්ත කෙතරම් කලක් ගතවුවත් බිඳක්වත් අඩුවී තිබුණේද නැත.

සම්පත්ගේ වියෝවෙන් පසුව බ‍්‍රයන් සහ සොනාලි අතර තිබුණු හිතවත්කම ආදරයක් බවට පෙරළෙන්නට ගතවුණේ කෙටි කාලයකි.

බ‍්‍රයන්ට මෙලෙස මෙලොවදීම සොනාලිව නැවතත් හමුවේදැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

සම්පත්ගේ වියෝවෙන් ඇතිවූ තනිකම පාළුව බ‍්‍රයන් නිසා මඟහැරෙන්නට විය. බ‍්‍රයන් කිසිදා විවාහ වූයේද නැත. ඔහු සොනාලිගේ ඇසුරෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් සම්පත්ගේ සියලූම දේපළ මිල මුදල්ද භාවිත කරමින් ලොවට හොරා අඹු සැමියන් සේ ජීවත් වෙයි. ප‍්‍රසිද්ධ සමාජයට ඔවුන් මුහුණ දෙන්නේ පාසල් කාලයේ සිටි මිතුරු මිතුරියන් ලෙස වුණත් ඔවුන්ගේ සොර අඹු-සැමි දීගය ගැන සමාජයේ බොහෝ දෙනාට නොරහසකි

o