Views  


පාසල නිමවීමට සීනුනාදය දසත රැව්පිළිරැව් දෙන්නට විය. නිලූකා මේසය මත තිබූ පොත් සියල්ල බෑගයට දමාගත්තේ කඩිමුඩියෙනි. වෙනදාට වඩා සතුටකින් ඇගේ සිත පිරී තිබිණි.

මෙවර පන්තියේ පළමුවැනියා ඇයයි. ගියවර පන්තියේ පළමුවැනියාට වඩා ඇයට සැලකිය යුතු ලකුණු මට්ටමක් මෙවර ලබාගැනීමට හැකි වූ නිසා ඇයට ඇතිවුයේ කියා නිමකළ නොහැකි තරමේ සතුටකි. ඇය තම මිතුරිය සමඟ පාසලෙන් එළියට බැස්සේ තෘප්තිමත් මඳ සිනාවක් දෙතොළඟ රඳවා ගනිමිනි.
අම්මේ.... අද මූණෙ තියෙන සතුට කෙල්ලගෙ..... සිතාරා නිලූකාට එසේ පැවසුවේ ඇයගේ මුහුණට එබෙමිනි. දෙදෙනාම එසේ ටික දුරක් බස් නැවතුම්පොළ දෙසට යන අතරමඟදී අහස ගිගිරුවා ගොස් සිහින් වැස්සක් ඇදහැළෙන්නට වූයේ නොසිතූ විලසය. හනි හනිකට බෑගයේ තිබූ කුඩ ඉහලා ගත් ඔවුන් දෙදෙනා පය ඉක්මන් කර නිවෙස් බලා පිටත් වන්නට වූයේ වැස්ස ඔවුන්ට තරමක කරදරයක් වූ නිසාය. නිලූකාගේ ජයග‍්‍රහණය ඇගේ මවටත්, පියාටත් මහමෙරක් තරම් විය. ඇය ඉගෙනීමට පමණක් නොව බාහිර වැඩකටයුතු සෑම දෙයකටමද ඉතා දක්ෂය. තලඑළළු පැහැති දිගටි මුහුණක් හිමි ඇය සැබවින්ම පි‍්‍රයමනාප වූවාය. කලවා යුග්මය තෙක් වැටුණු දිගු කේෂ කලාපයෙන් ඇගේ රූ සපුව තවත් හැඩවී තිබිණි.

අපිට දුව ගැන ගොඩක් සතුටුයි. සාලයේ පුටුවක වාඞී වී සිටි නිලූකාගේ පියා එලෙස පැවසීමෙන් පසු ඇයගේ මවද එය අනුමත කරන්නාක් මෙන් හිස සැලූවේ ඉහවහා ගිය සතුට සිතතුළ පුරවා ගනිමිනි. කිසිම දිනක දැක නොතිබු සතුටක් අම්මාගේත්, තාත්තාගේත් දෙනෙත්වල රැඳී තිබෙනු දුටු විට නිලූකාගේ සිතට දැනුණ සතුට වචනවලට පෙරළන්නට නොහැකිය. ඇය එදෙස බලාසිටියේ දැඩි  ඕනෑකමිනි.

කාලය කෙමෙන් කෙමෙන් ගතවිය. දැන් නිලූකා සා:පෙළ කඩඉම අබියසය. ඇය මහන්සිවී වැඩ කරන්නට වූයේ ඒ නිසාය. ඇගේ එකම අරමුණ වූයේ සා:පෙළ ඉහළින්ම සමත්ව පාසලට කීර්තියක් අත්කර දීමය. එහි ප‍්‍රතිඵලය වූයේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඉහළම ලකුණු ලබාගැනීමට ඇයට හැකියාව ලැබීමයි. සා:පෙළින් සමත්ව  ඕනෑම පාසලකට යාම සඳහා ඇයට හැකියාව ලැබුණද ඇය වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එම පාසලේමය.

නිලූකා උසස් පෙළ හැදෑරුවේ වාණිජ විෂය ධාරාවෙනි. වයසින් ටිකින් ටික මුහුකුරා යත්ම නිලූකාගේ රූපයද මුහුකුරා යන්නට පටන් ගත්තේ ඇගේ රුවට වඩ වඩාත් අලංකාර බවක් එක් කරමිනි. නිලූකාගේ යෙහෙළිය සිතාරාද ඉගෙනගන්නට දක්ෂය.

සිතාරා..... ඔයා පන්තියෙ වැඩ ටික කළාද?

රුවන් සිතාරා දෙස බලමින් පැවසුවේ ඔහු එය කර නොතිබූ බැවිනි.

හ්ම්.... ටිකක් හැදුවා..... රුවන්ගේ ප‍්‍රශ්නයට සිතාරාගේ පිළිතුර එය විය.

මට තාමත් ගණන් ටික හදාගන්න බැරිවුණා. රුවන් එලෙස පැවසුවේ නිලූකාගේ මුහුණ දෙස බලමිනි. රුවන් දෙතුන් වතාවක්ම ඇය දෙස බලනවා නිලූකා දුටුවාය. ඔහු මෙලෙස ඇය දෙස බලන්නේ අද ඊයේ නොවන බවද ඇය හොඳින්ම දනී.

සන්ධ්‍යා කාලයද එළැඹ තිබුණේ සවස පන්තියද නිමාවට පත් කරමිනි. රුවන් එදින ඉක්මනින්ම නිවෙසට පැමිණියේ පාසලේ සහ පන්තියේ වැඩ නිම කිරීම සඳහාය. කෑම කා හනි හනිකට කාමරයට ගිය ඔහු මේසය මත වූ පොත් පෙරළන්නට පටන්ගත්තේ විභාගයත් අත ළඟටම පැමිණී තිබු හෙයිනි. පොත් ටික ගෙන ගණන් කිහිපයක් සෑදු ඔහුගේ සිතට දැනුණේ වෙනදාට වඩා සතුටකි.

පොත් පසෙකින් තැබූ ඔහු ක්ෂණයකින් කල්පනා ලොවේ ගිලෙන්ට විය. ඔහුට වරින්වර සිතට නැඟුණේ නිලූකාය. ඇයගේ බබළන දෙනෙත් සහ සොඳුරු දේහය ඔහුට අමතක කිරීමට නොහැකිය. ආදර හැඟුමින් සිත පොපියන්නට වූයේ ඒ නිසාය. කාලය ගෙවී ගියේ ඉතා වේගයෙනි. රුවන් තම සිතේ තිබූ ආදරය සිතාරා මාර්ගයෙන් නිලූකාට ඉදිරිපත් කළේ ඇයගෙන් සතුටුදායක වචනයක් බලාපොරොත්තුවෙනි. එහෙත් නිලූකාගෙන් ඊට පිළිතුරක් නොලැබිණි. ඔහු වරක් දෙවරක් නොව කිහිපවරක්ම ඇය හමුවී ආදරය ප‍්‍රකාශ කරන්නට විය. එහෙත් පලක් නොවුණි.

නිලූකා රුවන්ට අකමැති වීමට හේතුව කුමක්දැයි ඔහුට ප‍්‍රශ්නාර්ථයකි. ඒ ඇය ඔහුට බෙහෙවින් ළෙංගතුකම් පෑ නිසාය. ඔහු දිනෙන් දින ගොඩනැඟූ සිහින මාලිගාවේ කණු, බිත්ති එකින් එක ගැලවෙන්නට පටන්ගත්තේ ඔහුටත් නොදැනීමය. එහෙත් ඔහු උත්සාහය අතහැරියේද නැත. උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වීමට නිලූකාට සහ රුවන්ට හැකියාව ලැබුණේ ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ලම මල්ඵල ගන්වමිනි. එදින සවස්වරුවේ සිතාරා නිලූකාගේ නිවෙසට පැමිණියේ ඇයව හමුවී සුබ පැතීමටය. ඇය ඈත සිටම දුටු නිලූකා පෙරමගට ගොස් ඇයව වැළඳගත්තේ ඇයගේ ජයග‍්‍රහණය පිළිබඳ සිතාරා හදවතින්ම සතුටු වන බව දන්නා නිසාය.

මම දන්නවා ඔයා හොඳට පාස්වෙනවා කියලා..... මාත් හොඳටම මහන්සිවෙලා ලබන පාර කැම්පස් යනවා. සිතාරාගේ ඒ වදන්වල තැවරී තිබුණේ වේදනාවකි. ඒ ඇයට මෙවර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් ලකුණු මට්ටමක් නොතිබූ නිසාය.

හ්ම්... ඔයා අදක්ෂ ළමයෙක් නෙමෙයිනෙ. ආයෙත් විභාගෙ ලියලා හොඳට පාස් වෙන්න. මම ඔයාට උදව් කරන්නම්කො. සිතාරාගේ බලාපොරොත්තු බිදී යාම පිළිබඳව නිලූකාට ඇතිවූයේ දැඩි කනගාටුවකි.

මේ... ඒක නෙමෙයි, රුවන් හම්බ වුණේ නැද්ද?

රුවන්..... නිලූකා එසේ පැවසුවේ මුහුණ නරක් කර ගනිමිනි.

ඇත්තටම මට රුවන් මාර වදයක් දෙන්නෙ උඹව සෙට් කරලා දෙන්න කියලා. මට හිතෙන්නෙ පොරට පොඩි අවුල් ගතියක් තියෙනවා.

හ්ම්.... මටත් ඒක දැනුණා. සමහරවිට උගත් පිස්සුව වෙන්න ඇති.

වෙන්න ඇති.... වෙන්න ඇති.... ඒත් පව් නේද?

ඒවා මට වැඩක් නෑනෙ මට හරියන්නෙ නැත්තම්...... මට තාම එහෙම වුවමනාවක් දැනිලා නෑ.

නිලූකාටත්, රුවන්ටත් යන්නට හැකි වූයේ එකම විශ්වවිද්‍යාලයටය. රුවන්ට ඒ පිළිබඳව දැනුණේ ඉමහත් සතුටකි. ඔහුට ඇය කෙරෙහි හටගත් කුළුදුල් පේ‍්‍රමය දිනෙන් දිනම අලූත් වන්නට විය. විශ්වවිද්‍යාල ජීවිතය නිලූකාට ගෙන දුන්නේ ඉතා මිහිරකි. එමඟින් ඇයට නිදහස් ජීවිතයක්ද උරුමව තිබිණි. විභාගවලදී ද ඉහළ ලකුණු ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි. එහි ඇගේ හොඳම යෙහෙළිය වූයේ චලනිය. සිතාරා මෙන් චලනිද දුක සැප දෙකෙහිදීම ළඟ සිටීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.

නිලූකාට රොෂාන් හමුවන්නේ මේ කාල සීමාවේදීය. ඇයගේ මිතුරකු වූ ඔහු ඇය ගැන නිතරම සොයා බලන්නට වූවේය. ඉන් ටික කලකට පසු ඔවුන්ගේ මිතුරුකම ආදරයක් බවට පත් වූයේ ඔවුන්ටත් නොදැනීමය. රොෂාන් නිලූකාගේ දෑස් දෙස මොහොතක් බලා සිටින්නට වූයේ ආදරය තව දුරටත් සඟවාගෙන සිටීමට නොහැකි නිසාය. ඇයත් ඔහු දෙස බලාසිටියේ ආදරය කැටිවූ දෙනෙතකිනි.

මම ඔයාට ගොඩක් කාලෙක ඉඳන් කියන්න හිටියෙ. ඒත් ඉඩක් ලැබුණෙ නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඒ වදන්වල තැවරී තිබුණේ ආදරණීය බවකි. එවිට නිලූකාගේ මුහුණෙහි ඇඳුණේ සිහින් සිනාවකි. රොෂාන්ගෙන් ලැබුණු ආදරයට ඇය බෙහෙවින් ඇලූම් කළාය. ඇගේ හිතේ ඇදී තිබුණේද ඔහුට සමාන රූපයකි. රොෂාන් අති දක්ෂයෙකි. සෑම වසරේම විශ්වවිද්‍යාලයේ වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයන් අතරින්ද කෙනෙකි. විශ්වවිද්‍යාල ජීවිතයේ අවසන් වසරේදී රොෂාන් ඇය අසලින්ම සිටියේ ඇගේ සියලූ වැඩකටයුතුවලටද උදව් කරමිනි. නිලූකාගේ නිවසින්ද සරසවි පේ‍්‍රමයට බාධාවක් වූයේ නැත. එහෙත් ඇයට එකම බාධාව වූයේ පාසලේ සිටම මේ දක්වාම පසුපස එන රුවන්ය.

ඒ හැම බාධකයක්ම ජයගෙන නිලූකා අවසානයේදී රොෂාන් සමඟ යුග දිවියට එළැඹෙන්නේ ඔවුනොවුන්ගේ සිහින බලාපොරොත්තු පොදි බැඳගෙනය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව රොෂාන් ආයතන කිහිපයකම සේවය කළේය. අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් ඔහුට ලැබෙන්නේ ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. නිලූකාද පිළිගත් පෞද්ගලික ආයතනයක සේවය කළාය.

නිලූකා විවාහ වූ දා පටන් රුවන් සිටියේ ජීවිතය පිළිබඳ හටගත් තද කලකිරීමකිනි. ඔහුට ඇය ගැන ඇතිවූයේ තරහකි. කුමක් හෝ කොට ඇය තමා ළඟට ගතයුතු යයි කල්පනා කරන්නට වූයේ එබැවිනි. ඔහු දකුණේ ප‍්‍රසිද්ධ කට්ටඩියෙකුගෙන් කුමක් හෝ අයහපත් දෙයක් රොෂාන්ගේ පවුලේ අයට කරන්නට සැලසුමක් යෙදුවේය. ගතවූයේ දින කීපයකි. රොෂාන්ගේ පවුලේ අයට කරදර එන්න එන්නම වැඩිවූයේ ඒ කාල සීමාවේදීය.

දිනක් රාති‍්‍රයේ නින්දේ සිටි රොෂාන් දොඩවන්නට වූයේ පිස්සකු මෙනි. නිලූකා මොහොතක් ඔහු දෙස බලා සිටින්නට වූයේ ගැහෙන හදවතිනි. ඔහු මේ කියවන්නේ මොනවාදැයි ඇයට වැටහුණේ නැත. රොෂාන්ට සිදු වූ දේ පිළිබඳ දැක ඇය කෑ ගසන්නට වූයේ කිසිවක් අදහාගත නොහැකිවය. අමාවක දිනක රාති‍්‍රයේදී රොෂාන් නොනවත්වාම කියවන්නට පටන් ගත්තේ ඇයගේ බිය දෙගුණ තෙගුණ කරමිනි. පසුදින රොෂාන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත කරනු ලැබීය. ඒ ප‍්‍රතිකාරවලින් ගුණයක් ලැබුණේ ටික කලකට පමණි. වරින්වර ඔහුගේ අමුතු හැසිරීම් වැඩි වෙන්නට පටන්ගත්තේ ඔහුටත් නොදැනීමය.

දිනක් ඔහු මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙනතුරු නිලූකා සිටියේ මඟ බලමිනි. ගොම්මන් වෙලාවේ වව්ලන් රංචු පිටින් කෑ ගසා පියඹා ගියේ අසුබ ආරංචියක පෙරනිමිති පහළ කරමිනි. නිලූකාගේ සිතට ඇතිවූයේ පාළුවකි, තනිකමකි. රාති‍්‍ර 10ත් පසුවී තිබිණි. රොෂාන් නිවෙසට එන පාටක් නොමැත. ජනෙල්, දොරවල් වසා දැමූ ඇය මෙහෙකාරිය ගෙන එන ලද තේ කෝප්පය තොල ගෑවේ ගැහෙන හදවතිනි. මැදියම් රැුයද පසුවිණි. එහෙත් ඔහු පැමිණයේ නැත. සොයා බැලූවද ආරංචියක්ද නොලැබිණි. ඇයට එළිවනතුරු නින්ද පැමිණියේද නැත. පසුවදාම මේ පිළිබඳව පොලිසියට දන්වන්නට වූයේ යම් හෝ පිළිසරණක් ලබාගැනීම සඳහාය. පොලිසිය ගම්මුන් සමඟ ගම පීරා ඔහුව සොයන්නට විය.

පොලිස් ජීප් රථය නිලූකාගේ නිවස ඉදිරිපිට නවත්වන්නට වූයෙන් ඇය කලබල වී දිව ගියේ රොෂාන් පිළිබඳව තොරතුරක් දැනගැනීමේ අවශ්‍යතාව නිසාය. ඇගේ මව සහ පියාද එදින පැමිණ සිටියහ. මහත්තයා නැතිවෙලා..... බොඩි එක පාළු ළිඳක තිබිලා දැන් හොයාගත්තෙ. ජලකඳ දරාගත නොහැකිව වේල්ලක් බිදී යන්නා සේ මෙතෙක් සිරකරගෙන සිටි සියලූ දුක්වේදනාවන් සිය මව දුටු සැණින්ම හැඬුමකට පෙරළි කඳුළු දෝර ගලා ගියේ සිරකර ගත නොහැකි ලෙසටය. දෙනෙතෙහි කඳුළු පිසදාගත් ඇයගේ මව හිසපිරිමැද්දේ මුළු ලොවම අහිමිව ගියද දරුවකුට මෙලොව ඇති එකම පිළිසරණ මව පමණක්ම බව සිහිගන්වමිනි.

බලාපොරොත්තු නොවූ මේ බියකරු මරණය නිලූකා දරාගත්තේ ඉතාමත් අසීරුවෙනි. ඇගේ කැදැල්ල මෙසේ සුනු විසුනු වී යයි ඇය කිසිසේත්ම නොසිතුවාය. අවමංගල්‍ය වැඩකටයුතු අවසන් වූ පසුව නිලූකා ඒ දින කිහිපය ගෙවා දැමුවේ කිසිවක් අදහාගත නොහැකිවය. සිතේ දුක සේදී යනතෙක්ම ඇයට හඬන්නට අවශ්‍යය. රොෂාන්ගේ වෙන්ව යාම ඇයට දැනුණේ කල්ප කාලයක් ගත වූ බවකි. අවමංගල උත්සවයින් පසුව රුවන් නිතරම නිලූකාගේ නිවසට යන්නට වූයේ ඇගේ සැපදුක් සොයා බැලීමටය.

බලාගත් අතේ බලා සිටින නිලූකා දුටු කල්හි රුවන්ට ඇතිවූයේ මහත් කනගාටුවකි. කලෙක ඉතා වුවමනාවෙන් රැුකබලා ගත් සුන්දර මාළිගයක් පසු කලෙක වල් බිහිව ගරා වැටී ඇති අයුරු දකින්නෙකුගේ සිතට දැනෙන ශෝකාකූල බවක් නිලූකාගේ සිතට නිතරම දැනෙන්නට විය. ඇය දස අතේ කල්පනා කරන්නට වූයේ ඒ නිසාය. වසර කීපයක් ගතව ගියද රොෂාන් මියැදුණේ කෙසේ දැයි යන්න රහසක්ම විය. ගම්මුන් පැවසුවේ ඔහු පිස්සු වැටී යන විට පය ලිස්සා ළිඳට වැටී ඇති බවයි. ඔහුට සිදුවූයේ කුමක් දැයි තවමත් සිතාගත නොහැකිය.

නිලූකා රොෂාන්ගේ වියෝවෙන් පසුව නැවත කාර්යාලයට ගියේද නැත. රොෂාන්ගේ මාසික වැටුප ඇයගේ අතට ලැබුණු නිසා මිල මුදල් අඩුවක්ද නොතිබිණි. අවුරුදු 26 පමණ තරුණ වයසේ සිටි ඇයට නැවත විවාහයක් කරදීමට ඇගේ මවුපියන් යෝජනා කළ නමුත් නිලූකාගේ සිතෙහි විවාහයක් කර ගැනීමට කැමැත්තක් තිබුණේ නැත. එහෙත් රුවන් පිළිබඳ සිතුවිල්ලක් ඇගේ යටි හිතේ මුල්බැසගෙන තිබුණේ ටිකින් ටිකය. නමුත් ඇය ඒ සියල්ල යටපත් කර ගැනීමට උත්සුක වූවාය. ඒත් ඒ සියල්ලම නිෂ්ඵල වූයේ සිතාගත නොහැකි ලෙසිනි. නිලූකාගේ සිතේ රුවන් පිළිබඳ කිසිදා නොමැති ආදරයක් හටගත්තේ ඇයටත් නොදැනීමය.

පසුව රුවන්ගේත් නිලූකාගේත් ආදරය තහනම් පේ‍්‍රමයක් දක්වාම වර්ධනය විය. රුවන් නිලූකාට ආදරය කළේ උන්මත්තකයකු මෙන්ය. ඇයව ලබාගැනීමට ඔහු  ඕනෑම දෙයක් කිරීමට පෙලඹී සිටියේ සිතාගත නොහැකි අන්දමිනි. සියලූ බාධක බිඳ තම ආදරය අවසානයේ ලැබුවා නොවේදැයි රුවන්ට සිතුණේ නිලූකා දෙස බලද්දිය. ඇගේ දසුනින් නෙත් ඉවත් කර ගන්නට ලෝභකමක්ද දැනිණි.  තමන්ගේ පටු ඉලක්කය සපුරා ගත්තද එහි ඵල විපාක වශයෙන් සිදුවී ඇති ඛේදනීය සිදුවීම් සිහියට නැෙඟද්දි ඔහු තුළ ඇතිවූයේ ඇය දිනා ගැනීමේ සතුට නොව හෘද සාක්ෂියෙන් නැගෙන චෝදනාව පිළිබඳ පසුතැවීමකි.

මිනිසත් බවට නොගැළපෙන අයුරින් ගුප්ත විද්‍යාවන් පසුපස ගොස් ලබාගත් ජයග‍්‍රහණය පිළිබඳ සතුටුවනවා වෙනුවට පවුලකට කළ විනාශය ගැන මුළු ජීවිත කාලය ගැනම පසුතැවීමට ඔහුට සිදුවිය. ජීවිතයේ සතුට ඇත්තේ මිනිසුන් විනාශ කර ලබාගන්නා දිනුම තුළ නොව කරුණාව මෛති‍්‍රය පෙරදැරිකරගෙන යහපත් සිතිවිලිවලින් දිනාගන්නා ආදරය තුළින් බව ඔහුට වැටහෙන විට ප‍්‍රමාද වූවා වැඩි බව කවදා හෝ ඔහුට දැනෙන්නට පුළුවන.